Saturday, December 26, 2015

හන්තානට පායන සඳ ....

හන්තානට පායන සඳ ....



හන්තානට පායන සඳ..
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//
අඳුරු ලලා වහිනා කල..
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
ලතා මඩුළු අත වනාවි..
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර..
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//

සාමාන්‍ය පෙලින් පසු වෙනදා වගේම උසස් පෙළ සිංහල පන්ති ආරම්බය වූයේ නවයොවුන් වියේ සිටි සිසු සිසුවියන්ගේ ජිවිතේ නැවුම් බලාපොරොත්තු ඇති කරමිනි. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධම සිංහල ගුරුවරයාද නව කණ්ඩායමේ තම පළමු පන්තිය ආරම්බ කිරීමට වේදිකාවට ගොඩ වුයේ සිනාමුසු මුහුණෙන්ය. හිරිමල්වියේ සිටි තරුණ සිසු සිසුවියන්ගේ මුහුණු වලද වුයේ මහත් උනන්දු සහගත බවකි.වෙනදා වගේම විවේක කාල සීමාව තෙක් අධ්‍යන කටයුතු කරවූ ගුරුවරයා වේදිකාවෙන් බැස  ගියේ සිසුන්ට දිවා ආහාරය ලබා ගැනීමට අවස්ථාව සලසමිනි. සිසුන් දිවා ආහාරය ගන්නා අතරතුර අපූරු දසුනක් මේ ගුරුවරයාගේ නෙත ගැටිණි.
එක බත් පාර්සලයට පොර කමින් දිවා ආහාරය ගන්නා සිසුන් අතරේ පන්තියේ පසෙකට වන්න තම හීන ලෝකයක තනිවී පිළිසදරක යෙදෙමින් දිවා ආහාරය ගන්නා සිසුවෙකු හා සිසුවියක් විය. මේ දසුන දුටු ගුරුවරයාද ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකලේ තරුණ වයසේ ප්‍රේමය කාටත් පොදු කරුණක් නිසාදෝ විය හැකිය.
කෙමෙන් කෙමෙන් දින සති මාස ගණනින් ඉදිරියට ඇදුනු සිංහල පන්තියේ මේ පෙම් යුවල කාටත් සුපුරුදු දර්ශනයක් විය. මොවුන් දෙදෙනා අතුරින් පිරිම ළමයා කාගෙත් හිත දිනාගන්නා සුළු ප්‍රියමනාප සමාජශීලි තරුණයකු විය. සංවර ගති පැවතුම් වලින් යුක්ත වූ සිසුවිය රූප සොබාවෙන් කිසිදු අඩුවක් නොමැති තරුණියක්ය. නිතර දෙවේලේ විවිධ ගැටලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ගුරුවරයා වෙත පැමිණෙන මේ තරුණයා ඔහුගේ සමීප සිසුවෙක් වුවද කිසිදු අවස්ථාවක මේ ගුරුවරයා ඔවුන්ගේ පෙම් සබදතාව ගැන ඔහුගෙන් කිසිවක් නොවිමසීය.
වසර දෙක හමාරකට ආසන්න කාලයක් පුරා පැවති සිංහල පන්තියේ ආරම්භක දිනයේ පටන් අවසන් දිනය දක්වාම මේ පෙම් යුවල පන්ති පැමිණියේද ආහාර ගත්තේද පන්තියෙන් පිටව ගියේද එකටමය.
කෙසේ හෝ අපොස උසස් පෙළ විභාගයට සතියකට පමණ පෙර පන්ති අවසන් වන දිනයේ මේ සිසුවා ගුරුතුමාට වැඳ නික්ම යාමට යන මොහොතේ ගුරුතුමා සිනහමුසු මුහුණින් කීවේ,

"ආදරය කරා වගේම විභාගෙත් හරියට කරගන්න ඕනේ"

ගුරුවරයාගේ මේ උපදෙසට මදහසකින් ප්‍රතිචාර දැක්වූ තරුණයා නික්ම ගියේය..

උසස් පෙළ විභාගයෙන් පසුවද මොවුන් දෙදෙනාගේ ආදර සබදතාව පෙර සේම විය.
විභාගයෙන් මාස ගණනාවක් ගතවෙත්ම ප්‍රතිඵල පැමිණියද එය මොවුන් දෙදෙනාගේම සිත් රිදවූ ආකාරයේ ප්‍රතිඵලයක් විය. තරුණිය උසස් පෙළින් ඉතා ඉහළින් සමත්ව තිබූ නමුදු තරුණයාගේ ප්‍රතිඵලය සරසවි වරම් සඳහා ප්‍රමාණවත් නොවීය. තම පෙම්වතියගේ ප්‍රතිඵලය ගැන එක සිතින්ම සතුටු වූ ඔහු දුක් වූයේ ඉදිරි වසර කිහිපයේදි තමා පණ මෙන් ආදරය කල ඇය සමග සමීපව ඇසුරු කිරීමට ඇති අවස්ථාව අහිමි වීම ගැනය. එහෙත් තම පෙම්වතියගේ ඉදිරි අනාගතේ සාර්ථකත්වය උදෙසා මේ කැප කිරීම සිදු කිරීමට තරම් ඔහු සිත ශක්තිමත් කර ගත්තේය.
සරසවි අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සරසවියට මේ තරුණිය ඇතුළත් වූයේ තම පෙම්වතාගෙන් දුරස් වීමට සිදුවීම ගැන දහස් වාරයක් සිත ඇතුලෙන් හඬමිනි. තරුණිගේ සරසවි ප්‍රවේශයත් සමගම තරුණයාද එක්තරා වෙළඳ ආයතනයක සේවයට එක් විය. සියල්ල මෙසේ සිදුවුවද හැකි සෑම අවස්ථාවකම ජංගම දුරකතනයෙන් පිළිසඳරේ යෙදීමට මොවුන් අමතක නොකලේය. එනිසාවෙන් ඔවුන් එකිනෙකාගෙන් දුරස්ව ඇති බවක් කිසිවිටෙකත් ඔවුනට දැනුණේ නැත. කෙසේ හෝ වසර කිහිපයක් ඇවෑමෙන් පෙර සඳහන් කල ගුරුවරයා දිනක් මාර්ගය අසල සිටින විට වෑන් රථයක් නවතා එයින් බැස තරුණයෙකු ඔහු වෙත පැමිණියේ සුපුරුදු සිනහවක්ද සමගින්ය.

"සර්, සර්ට මාව මතකද"

"ආ මොකෝ මතක නැත්තේ. දැන් රස්සාවක් කරනවා වගේ"

"ඔව් සර් පොඩි ජොබ් එකක් කරනවා දැන්"

"කෝ අර ඉස්සර පන්තියේ බත් මුල බෙදාගෙන කෑව ගෑනු ළමයා. තාම දෙන්නා බැන්ඳේ නැද්ද"

"මං ඒ සම්බන්දේ නැවැත්තුවා සර්‍"

"තමුසේ මාර මනුස්සයෙක්නේ. සාමාන්‍යයෙන් කෙල්ල කැම්පස් ගියොත් කෙල්ලනේ කොල්ලව අතාරින්නේ"

" නෑ සර්, මට තේරුණා මං එයාගේ ඒ ලෝකෙට ගැලපෙන්නේ නෑ කියලා. ඒ නිසා මං ම ඈත් උනා"

මේ සුළු  කතාබහෙන් පස්සේ අර තරුණයා එතනින් නික්ම ආවා.



Get paid to share your links!
පස්සේ කාලෙක ධම්මික බණ්ඩාර කියන මේ සිංහල ගුරුවරයා අතින් ඒ සිදුවීම මුල් කරගෙන මේ ගීය රචනා වෙනවා..

"හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...."

මේ ගීතය අමරසිරි පීරිස් මහත්මගේ හඬින් ගීතවත් වෙලා 2005 විතර තමා අපිට අහන්න ලැබෙන්නේ.

මේ ගීයේ ගායකයා වගේම රචකයත් මේ ගැන විස්තර කරන විදිහ මේ තියෙන වීඩියෝ පටයෙන් ඔයාලට බලන්න පුළුවන්.

උපුටා ගැනීම http://nuwanhit.blogpot.co.id/ අඩවියෙනි....

No comments:

Post a Comment